Thursday, August 25, 2016

iPhone දත්ත සොරකම් කරන වෛරසයක් ඇවිත්

iPhone දත්ත සොරකම් කරන වෛරසයක් ඇවිත්

අයිෆෝනයේ වූ දත්ත සියල්ල හොර රහසේ පිටස්තරයෙකු වෙත ලබාගැනීමට හැකි මැල්වෙයාර් මෘදුකාංගයක් හෙවත් වෛරසයක් පිළිබඳව මෘදුකාංග ආරක්ෂාව පිළිබඳ විශේෂඥයන් විසින් ඊයේ (25දා) අනතුරු අඟවා තිබුණි.

ඊශ්‍රායලය කේන්ද්‍ර කරගත් මෘදුකාංග ආයතනයක් විසින් මෙම මැල්වෙයාර් මෘදුකාංග නිපදවා ඇති බව සොයාගෙන ඇති අතර, මෙම ආයතනය විසින් ජංගම දුරකථනවල තොරතුරු රහසිගතව ලබාගත හැකි මෙම මෘදුකාංග විවෘත වෙළෙඳ පොළේ අලෙවි කරන බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි. කෙසේ වෙතත්, ඔවුන්ගේ ප්‍රධාන ගැනුම්කරුවන් ලෝකයේ විවිධ රටවල් රජයයන් බවද එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඒ අනුව, මෙම අනතුරුදායක මෘදුකාංගය පිළිබඳව ඊයේ දිනයේදී සැලවත්ම ඇපල් සමාගම විසින් සිය iOS මෙහෙයුම් පද්ධතිවල මෘදුකාංග යාවත්කාලීන කිරීමේ සංස්කරණයක් ඇපල් පරිශීලකයන් වෙත ලබාදී තිබූ අතර, එය අදාළ වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා වූ ක්ෂණික ක්‍රියාමාර්ගයක් බවද සඳහන් වෙයි.

මෙම සොයාගැනීම සිදුකළ මෘදුකාංග විශේෂඥයන් පවසන්නේ විවිධ රජයන් විසින් ජනමාධ්‍යවේදීන්ගේ හා විවිධ සමාජ ක්‍රියාකාරීන්ගේ තොරතුරු රැස්කිරීම සඳහා පෙර කී ඊශ්‍රායල් සමාගමෙන් මැල්වෙයා මෘදුකාංග මිලදී ගන්නා බවයි. ඒ අනුව, විවිධ ජාත්‍යන්තර සංවිධාන, ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන හා ප්‍රමුඛ තාක්ෂණික සමාගම් ලෙස ව්‍යාජ ඩොමේන් නාම යොදාගනිමින් මෙකී මැල්වෙයාර් මෘදුකාංග ඔවුන්ට අවශ්‍ය පුද්ගලයන්ගේ ජංගම දුරකථන තුළට ඇතුළු වන බවද විදෙස් වාර්තා පවසයි.  

මෙය ඇතැම් විට කෙටි පණිවුඩයක් ලෙසද ලැබෙන බවත්, එය අදාළ ජංගම දුරකථන පරිශීලකයා වෙත ඔහුට අත්‍යවශ්‍ය ආයතනයක හෝ පුද්ගලයෙකුගේ හෝ තොරතුරක අන්තර්ජාල පිවිසුමක් ලෙස මෙම කෙටි පණිවුඩය ලැබෙන බවත් සඳහන් වෙයි. මෙය කලින් සඳහන් කළ ආකාරයේම ව්‍යාජ ඩොමේන් නාම භාවිතයක් වන අතර, එහිදී, එකී පරිශීලකයා අදාළ වෙබ් පිටුව වෙත යොමුව ලබාදෙන විට, මැල්වෙයාර් මෘදුකාංගය හෙවත් වෛරසය ඔහුගේ හෝ ඇයගේ ජංගම දුරකථනයට රහසේම පිවිස එහි වූ සියලු දත්ත පිටස්තරයෙකු අතට පත්වීමට සලස්වන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Post a Comment