පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන මේ ආබාධ ගැන ඔබ දැනුවත්ද?
ස්ත්‍රීන්ට මෙන්ම පුරුෂයන්ට ද විශේෂිත වූ රෝගාබාධ තිබෙනවා. පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන ආබාධ එලෙස පිරිමින්ට පමණක් ඇතිවන රෝගාබාධයි. බොහෝ පිරිමි එම රෝග පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කිරීමටත් ප්‍රතිකාර ගැනීමටත් මැළි වෙනවා. එහි ප්‍රතිඵලය ජීවිතය අහිමි වීම වුවද විය හැකියි. මේ ලිපියෙන් අපි සාකච්ඡාකිරීමට බලාපොරොත්තු වන්නේ පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන ආබාධ පිළිබඳවයි.
පුරස්ථි ග්‍රන්ථිය යනු කුමක් ද?
පුරස්ථි ග්‍රන්ථිය යන වචනය සමාජයේ බොහෝ දෙනෙක් වැරැදි ලෙස වටහාගෙන තිබෙනවා. පුරස්ථි ග්‍රන්ථිය යනු පුරුෂයන්ගේ මුත්‍රාශයට පහළින් පිහිටා තිබෙන දෙහි ගෙඩියක හැඩය ඇති කුඩා ග්‍රන්ථියක්. එම ග්‍රන්ථියෙන් ශ්‍රාවයන් කීපයක්ම නිපදවෙනවා. ඉන් එක් ශ්‍රාවයක් මඟින් පුරුෂයන්ගේ ශුක්‍රාණුවලට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා. එමඟින් පුරස්ථි ග්‍රන්ථිය පුරුෂයන්ගේ ශුක්‍රාණුවල සරු බව සඳහා විශාල කාර්යභාරයක් සිදු කරනවා.
ඇතැම් පුරුෂයන්ට එම ග්‍රන්ථිය උපතින්ම නොපිහිටින අවස්ථා තිබෙනවා. එය ඉතාම විරල තත්ත්වයක්. එවැනි පිරිමින්ට කිසි කලෙක දරුඵල ලැබීමේ හැකියාවක් නෑ. ඊට අමතරව පුරස්ථි ග්‍රන්ථිය තුළ විවිධ රෝගාබාධ ඇතිවෙන්න පුළුවනි. එම රෝගාබාධ බොහෝ විට හටගන්නේ, මැදි වයස එළඹෙන විටයි: අවුරුදු 40 පමණ ඉක්මවූ විටයි.
පුරුෂයන්ගේ ශුක්‍ර තරලය පිළිබඳව කතා කරන විට එයින් සියයට 10 – 15 ක් පමණ ඇති කරන්නේ පුරස්ථි ග්‍රන්ථියේ ශ්‍රාවයන් මඟින්. ඊට අමතරව ශුක්‍රආශයිකා ග්‍රන්ථියෙන් ශුක්‍ර තරලයෙන් සියයට 70 ක් නිපදවෙනවා. වෘෂණ කෝෂ මඟින් ශුක්‍ර තරලය නිපදවන්නේ සියයට 10 ක් වැනි ප්‍රමාණයක්.
ශුක්‍රාණු ඇත්තේ එම සියයට 10 තුළයි. වෘෂණ කෝෂවලින් එන එම ශුක්‍රාණුවල පෝෂණයට පුරස්ථි ග්‍රන්ථියෙන් නිකුත් කරන ශ්‍රාවයන් අත්‍යවශ්‍යයි. එම ශ්‍රාවයන් තුළ තිබෙන රසායන ද්‍රව්‍ය ශුක්‍ර තරලයේ පෝෂණයට ඉතා වැදගත්. එම රසායන ද්‍රව්‍ය නැතිව ශුක්‍රාණුවලට පැවැත්මක් නෑ.
පුරස්ථි ග්‍රන්ථිය රෝගී වෙන්නේ කෙසේ ද?
පුරස්ථි ග්‍රන්ථිය තුළ රෝගාබාධ බොහෝ විට හටගන්නේ වයස අවුරුදු 40 ඉක්මවූ විටයි. ප්‍රධාන වශයෙන් ම පුරස්ථි ග්‍රන්ථිය තුළ ඇතිවන රෝගාබාධ තුනක් තිබෙනවා. ඉන් එකක් තමයි පුරස්ථි ග්‍රන්ථියේ ඇතිවන ආසාදන. බොහෝ විට එම තත්ත්වය වයස අවුරුදු 35 – 40 අතර වයසේ පසුවන පිරිමින්ට ඇති වෙනවා. එසේ විෂබීජ මඟින් ආසාදනය වීම “ප්‍රොස්ටයිටීස්” ලෙස හඳුන්වනවා.
බොහෝ විට රෝගී පුද්ගලයාගේම යටිබඩ ප්‍රදේශයේ ඇති විෂබීජ පුරස්ථි ග්‍රන්ථිය ආසාදනයට හේතු වෙනවා. ආසාදනය වූ විට මුත්‍රාශය ආශ්‍රිතව රෝග ලක්ෂණ මතු වෙනවා. මුත්‍රා දැවිල්ල, මුත්‍රා නිතර පහවීම, මුත්‍රා පහවීම කඩින්කඩ සිදුවීම, මුත්‍රා සමඟ රුධිරය පහවීම වැනි රෝග ලක්ෂණ මෙහිදී මතු වෙනවා.
එම රෝග ලක්ෂණ තරුණ වයසේ හෝ මැදිවිය ආරම්භයේ සිටින පිරිමියකු වෙතින් දක්නට ලැබුණොත්, වෛද්‍යවරුන් පළමුව සොයා බලන්නේ එම පුද්ගලයාට පුරස්ථි ග්‍රන්ථියේ ආසාදන තත්ත්වයක් තිබෙනවා ද යන්නයි. මෙය ඉතාම බහුල රෝගී තත්ත්වයක්.
එසේ පුරස්ථි ග්‍රන්ථිය ආසාදනය වන්නේ ඇයි?
එම පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ හැකියාවේ පවතින දුර්වලතාවය මෙයට බලපානවා. ඇතැම් විට ආසාදනයට ප්‍රතිකාර කර සුව වුණත් එම ග්‍රන්ථියේ ඉතිරි වන කැළැල් නිසා රෝග ලක්ෂණ වසර ගණනාවක්ම පවතිනවා. එහිදී වෛද්‍යවරුනට කළ හැකි වන්නේ මතුවන රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකාර කිරීම පමණයි. ඇතැම් විට වසර 5 ක් 6 ක් පමණ යන තෙක් රෝග ලක්ෂණ මතු වෙන්න පුළුවන්. එසේ දිගටම රෝග ලක්ෂණ පැවතීම එම පුද්ගලයාගේ මානසික වියවුල්තාවක් ඇතිවීමට පවා ඉඩ තිබෙනවා.
පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම ලෙස හඳුන්වන්නේ කුමක් ද?
පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම වයස අවුරුදු 40 පමණ සිට වයස අවුරුදු 60, 65 පමණ දක්වා වයස්වල පසුවන්නන්ට ඇතිවිය හැකි රෝගී තත්ත්වයක්. ඉදිමීම සිදුවන්නේ පුරස්ථි ග්‍රන්ථියේ මධ්‍ය කොටසේ. පුරස්ථි ග්‍රන්ථිය රඹුටන් ගෙඩියක් ලෙස සැලකූ විට රඹුටන් ගෙඩියේ මදයට පුරස්ථි ග්‍රන්ථියේ මධ්‍ය කොටස සමාන කරන්න පුළුවනි. පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීමේ රෝගය මතුවන්නේ වයස්ගත වීම සමඟමයි.
ඊට මූලික වන හේතුව තවමත් සොයාගෙන නෑ. එම තත්ත්වය අදාළ වයසට පත්වූ සෑම පුද්ගලයකුටම ඇතිවේ යැයි බිය විය යුතු නෑ. අද වන විට පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීමේ රෝගයේ බහුල බවක් දක්නට ලැබෙනවා. එසේ වුවත් එම රෝගය ඇතිවූ පමණින්ම රෝගියාට ගැටලුවක් ඇතිවන්නේ නෑ. රෝගය ඇතිවුණු පිරිසෙන් සියයට 50 ක පිරිසක් පමණයි රෝග ලක්ෂණ පෙන්වන්නේ. අනෙක් පුද්ගලයින් ඒ පිළිබඳව කිසිඳු දැනීමක් නැතිව ජීවිතය ගත කරනවා.
පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීමේ රෝගයට ජානමය බලපෑමක් තිබෙනවා ද?
ඔව් ජානමය බලපෑමක් තිබෙනවා. යම් අයකුගේ පියාට, බාප්පාට, සීයාට හෝ පවුලේ වෙනත් ලේ ඥාති පිරිමියෙකුට මේ රෝගය තිබී ඇත්නම්, එම පුද්ගලයාට මේ රෝගය ඇතිවීමේ හැකියාව තිබෙනවා. එහෙත් බහුලවම දක්නට ලැබෙන්නේ කිසිඳු හේතුවක් නැතිව හෝමෝනවල තිබෙන අස්ථායි ස්වභාවය නිසා ඇතිවන පුරස්ථ ග්‍රන්ථියේ ඉදිමීමේ තත්ත්වයයි.
පුරස්ථ ග්‍රන්ථියේ පිළිකා ඇති වෙනවා ද?
prostate-cancer-1
ඇතිවෙන්න පුළුවන්. බොහෝ දුරට පිරිමින්ගේ පුරස්ථ ග්‍රන්ථියේ පිළිකා ඇතිවන්නේ වයස අවුරුදු 60 ක් පමණ ඉක්මවූ පසුවයි. බොහෝ විට වයස අවුරුදු 80 කට ආසන්න වූ විටයි . පිළිකා ඇතිවන්නේ පුරස්ථි ග්‍රන්ථියේ බාහිර කොටසේ. පුරස්ථි ග්‍රන්ථිය රඹුටන් ගෙඩියකට සමාන කළ විට පිළිකා ඇතිවන්නේ රඹුටන් ගෙඩියේ ලෙල්ලට සමාන කරන පුරස්ථි ග්‍රන්ථියේ පිටත කොටසේ. පුරස්ථි ග්‍රන්ථියේ ඉදිමීමේ රෝගයට එම ග්‍රන්ථියේ අභ්‍යන්තර කොටස (මදය) ඉවත් කළත්, එහි පිටත කොටසේ පිළිකාවක් හටගැනීමේ හැකියාව තිබෙනවා. අද ලෝකයේ සෑම රටකම පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාව ඉතා බහුලයි. බටහිර රටවල ජාතික ගැටලුවක් බවට පත්වීමට තරම් තත්ත්වය බරපතළ වී තිබෙනවා.
එහෙත් ආසියාතික රටවල පුරස්ථි ග්‍රන්ථි පිළිකා ඉතා අඩුයි. පුරස්ථි ග්‍රන්ථිය තුළ ඇතිවන පිළිකාව එම ග්‍රන්ථියෙන් පිටතට ගොස් අස්ථි මොළය හෘදය වැනි ස්ථානවලට ද ගමන් කළ හැකියි. එය මාරාන්තික තත්ත්වයක්.
පුරස්ථි ග්‍රන්ථියේ ආසාදන, ඉදිමීම, පිළිකා යන රෝග තුනේ ප්‍රධාන රෝග ලක්ෂණ මොනවා ද?
ඉන් කුමන රෝගයක් ඇතිවුවත් ප්‍රධාන වශයෙන්ම සිදුවන්නේ පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීමයි. පුරුෂයකුගේ මුත්‍රා මාර්ගය ගමන් කරන්නේ මෙම ග්‍රන්ථිය ඇතුළෙන්.
පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම නිසා මුත්‍රා මාර්ගය අවහිර වෙනවා. එහිදී මුත්‍රා කිරීම ආරම්භ කිරීම ප්‍රමාද වීම මුත්‍රා කඩින්කඩ යාම, මුත්‍රා කරන විට පාද අසලම මුත්‍රා වැටීම, මුත්‍රා බිංදු බිංදු වැටීම, මුත්‍රා කිරීම සඳහා තැටමීමට සිදුවීම වැනි රෝග ලක්ෂණ ප්‍රධාන වශයෙන්ම පෙන්නුම් කරන අතර අවසානයේ දී මුත්‍රා කිරීම සම්පූර්ණයෙන්ම අවහිර වීම ද සිදු වෙනවා.
ඊට අමතරව විනාඩි දහයෙන් දහයට හෝ පැය 1/2 කට වරක් පමණ මුත්‍රා කිරීමේ අවශ්‍යතාව ඇතිවීම, රාත්‍රියට හතර පස් වතාවක් මුත්‍රා කිරීමට අවශ්‍ය වීම වැනි රෝග ලක්ෂණ ද පෙන්නුම් කරනවා.
ඊට අමතරව පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව රෝගවලදී පුරස්ථි ග්‍රන්ථියේ රුධිර නාළ පිපිරීම නිසා මුත්‍රා සමඟ රුධිරය පිටවෙන්න පුළුවන්. මේ ඉහත සඳහන් කළ රෝගාබාධ තුනේම පොදු රෝග ලක්ෂණයි. එම නිසා ඉහත රෝග ලක්ෂණවලින්හටගෙන ඇත්තේ කුමන රෝගය දැයි නිශ්චිතව කිව නොහැකියි.
එසේ නම් පුරස්ථි ග්‍රන්ථියේ ඇති වී තිබෙන රෝගය කුමක් දැයි නිශ්චිතව දැනගන්නේ කොහොම ද?
පළමුවෙන්ම සිදු කරන්නේ “අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන්” පරීක්ෂාවක්. එයින් පුරස්ථි ග්‍රන්ථිය විශාල වී ඇතිදැයි යන්න නිවැරැදිව හඳුනාගන්න පුළුවනි. ඒ වගේම මුත්‍රාශය සිරවී ඇතිදැයි යන්නත් පැහැදිලිව හඳුනාගන්න පුළුවනි. එහෙත් ස්කෑන් පරීක්ෂාවෙන් ඉහත සඳහන් කුමන රෝගය නිසා පුරස්ථි ග්‍රන්ථිය ඉදිමී ඇතිදැයි යන්න තීරණය කිරීම අපහසුයි.
ස්කෑන් පරීක්ෂණයට අමතරව එක්ස් රේ පරීක්ෂණයක් ද සිදුකළ යුතුයි. ඒ මුත්‍රාශයේ මුත්‍ර සිරවී තිබීම නිසා මුත්‍රා ගල් ඇතිවී ඇතිදැයි දැනගැනීම සඳහායි. එම පරීක්ෂණ දෙකට අමතරව මුත්‍රා කිරීමේ වේගය මැන බැලීමට ද පරීක්ෂණයක් කරනවා. එම පරීක්ෂණවලින් පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවක් බවට ඉඟියක් පළ වුණොත්, එය ස්ථිර කරගැනීම සඳහා විශේෂ රුධිර පරීක්ෂණයක් ද සිදු කරනවා.
අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය සිදුකරන විට මුත්‍රාශය හොඳින් පිරී තිබීම අනිවාර්යයි. එසේ නොවුණහොත් නියම ප්‍රතිඵලය ලබාගත හැකි වන්නේ නෑ.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
No comments:
Post a Comment