බෝ නොවන රෝගවලට සුමානයක් දෙකක් බෙහෙත් බීලා මදි මෙන්න ලෙඩ ගැන අප නොදන්නා කාරණයක් අනිවාරයෙන් හැමෝම මෙය දැනගන්න.
ලෙඩ රෝග නිසා ඒ කාලේ වැඩිදෙනා මිය ගියේ බෝවන රෝගාබාධවලිනි. එහෙත් අද ලෙඩ රෝග නිසා වැඩි දෙනෙක් මිය යන්නේ බෝ නොවන රෝගවලට ගොදුරු වීම නිසා ය.
බෝ නොවන රෝග ලෙස හැඳින්වෙන්නේ අධිරුධිර පීඩනය, දියවැඩියාව, ආඝාතය (අංශභාගය), ඇදුම, වකුගඩු ආබාධ වැනි රෝගාබාධය. බෝ නොවන රෝගවලට ගොදුරු වූවෝ අද සමාජයේ ඉතා බහුල ය.
බෝ නොවන රෝගවලට බොහෝ දෙනෙකු ගොදුරු වී ඇතිවා සේ ම බෝ නොවන රෝග පිළිබඳ මිථ්‍යා සහ වැරදි සහගත මත සමාජයේ බහුලය. එය බෝ නොවන රෝග වලින් වැළකී සිටීමට මෙන් ම එම රෝග වලට ප්‍රතිකාර කිරීමට ද විශාල බාධාවකි.
බොහෝ දෙනෙක් තුළ ඇති වැරදි මතයක් වන්නේ උණ, සෙම්ප්‍රතික්ෂ්‍යාව වැනි රෝග මෙන් ටික දිනක් ඖෂධීය ප්‍රතිකාර ලබා ගත්විට බෝ නොවන රෝග සුවවන බව ය. බෝ නොවන රෝග සුව කළ නොහැකි අතර කළ හැක්කේ රෝගය පාලනය කරගෙන යහපත් ජීවිතයක් ගෙවීම ය. උදාහරණයක් ලෙස අධිරුධිර පීඩනයට ගොදුරු වූ පුද්ගලයකුට එම රෝගය සමඟ ජීවිත කාලයම ගෙවීමට සිදුවේ. ඖෂධ ලබාගන්නා තෙක් රෝගය හොඳින් පාලනය වී පවතී. අධිරුධිර පීඩනයට ඖෂධීය ප්‍රතිකාර ගන්නා ඇතැමුන් සිතන්නේ මාසයක් දෙකක්, වසරක් දෙකක් ඖෂධ ලබාගත්විට රෝගය නිට්ටාවට සුවවන බව ය. එවැනි කාලයක් ඖෂධ ලබාගත්විට රෝගය හොඳින් පාලනය වේ. රෝගය පාලනය වූවා යැයි සිතා වෛද්‍ය උපදෙස් වලින් තොරව කිසිවිටෙකත් ඖෂධ නැවැත්විය යුතු නැත.
එවැනි වැරදි සහගත තීරණයක ප්‍රතිඵලය හෘදයා බාධ, ආඝාතය (අංශභාගය) වැනි තත්ත්වයන් විය හැකි ය. දියවැඩියාව ද එසේම ය, දියවැඩියා රෝගයට ඖෂධ ලබාගන්නා තෙක් රෝගය පාලනය වී පවතින අතර ඖෂධ නැවැත්වූ සැණින් නැවත රෝගය මතුවේ. අධිරුධිර පීඩනයට නියම කරන සුළු ඖෂධ ප්‍රමාණය නොගෙන සිට අංශභාගය, ආඝාතය වැනි රෝග තත්ත්වයකට මුහුණ ද්‍රන්විට ඒ ගැන පසුතැවීම අනුවණ කමකි. එබැවින් බෝ නොවන රෝග වලට ඖෂධීය ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් වෛද්‍ය උපදෙස් අනුව දිගටම ඖෂධ ලබාගත යුතු ය.
බෝ නොවන රෝග පිළිබඳව ඇති තවත්, වැරදි සහගත මතයක් වන්නේ ශරීරයේ කොලෙස්ටරෝල්, මේදය වැඩිවීම, රුධිර පීඩනය වැඩිවීම, රුධිරයේ සීනි ප්‍රමාණය වැඩිවීම ආදිය නිසා ඇඟට දැනෙන සේ අපහසුවක් නොදැනේ නම් තමාට කිසිදු රෝගාබාධයක් නැතැයි සිතීම ය. උදාහරණයක් ලෙස යමෙකුගේ ශරීරයේ රුධිර පීඩනය 160/90 තත්ත්වයේ පවතින විට එම පුද්ගලයාට කිසිදු වෙනසක් නොදැනී පැවතිය හැකි ය. එසේ වුව ද එම අගය රුධිර පීඩනයේ ඉහළ අගයකි. මෙම තත්ත්වය නොසලකා සිටීමේ අවසන් ප්‍රතිඵලය අංශ භාගය හෝ හෘදයාබාධයක් හෝ විය හැකි ය. අධිරුධිර පීඩනයේ දී ශරීරයට දැනෙන තරමේ වෙනසක් දැනෙන්නේ රුධිර පීඩනය ඉතා ඉහළ අගයකට ගිය විට ය.
බොහෝ දෙනෙක් අතර පවතින තවත් මිථ්‍යා මතයක් වන්නේ අතපයේ ඇතිවන වේදනාව, දෑස්වල ඇතිවන වේදනාව ආදිය තමාට ඇතිවන්නේ ශරීරයේ කොලෙස්ටරෝල්, මේදය වැඩිවීම නිසා බව ය. කොලෙස්ටරෝල් යනු රුධිරයේ තිබෙන මේදය විශේෂයකි. එම මේදය වැඩිවන විට ශරීරයට කිසිදු වෙනසක් නොදැනේ. බොහෝ දෙනෙකු තුළ කොලෙස්ටරෝල් මේදය වැඩිවී ඇතැයි සොයා ගනු ලබන්නේ අධිරුධිර පීඩනයට හේතුව සොයා යාමේ දී ය. එබැවින් ශරීරයේ විවිධ ස්ථානවල ඇතිවන වේදනා කොලෙස්ටරෝල් මේදය නිසා ඇති වේ යැයි සිතීම මුළාවකි.
බෝ නොවන රෝගයකින් පෙළෙන පුද්ගලයකු එම රෝගයට අමතරව වෙනත් රෝගයකට ප්‍රතිකාර ලබාගැනීමට වෛද්‍ය වරයකු වෙත ගිය විට තමා මේ වනවිට මෙවැනි රෝගයක් සඳහා ඖෂධ ලබා ගන්නේ යැයි පැවසීම අත්‍යවශ්‍ය කරුණකි. මෙම අතපසු වීම බරපතල තත්ත්වයක් දක්වා වුව ද වර්ධනය වීමේ හැකියාව ඇත.
උදාහරණයක් ලෙස යමෙකුට දියවැඩියා රෝගය ඇතැයි සිතන්න. ඔහුට සුළු සෙම්ප්‍රතිශ්‍යාවක් වැළදුණ හොත් එයට නිසි ප්‍රතිකාර නොලැබුණ හොත් එම තත්ත්වය නියුමෝනියාව දක්වා වර්ධනය වීමේ හැකියාව ඇත. ශරීරයට කිසියම් විෂ බීජයක් ඇතුළු වී උණක් ඇති වූ විට රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි විය හැකි ය. එබැවින් උණ රෝගය සඳහා වුව ද ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයකු වෙත ගිය විට තමන් ප්‍රතිකාර ගන්නා වෙනත් රෝග පිළිබඳව ප්‍රකාශ කිරීම ඉතා වැදගත්ය.
හැකි නම් ඒ වනවිටත් ගනු ලබන ඖෂධ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කිරීම සඳහා ළඟ තිබෙන ඖෂධ වට්ටෝරු වුව ද ඉදිරිපත් කළ හැකි ය. වෛද්‍යවරයකුට ලෙඩ රෝග පිළිබඳව සහ තමා ගන්නා ඖෂධ පිළිබඳව නිවැරදි තොරතුරු නොපැවසීම අනුවන කමකි. ඖෂධ යනු රසායනික ද්‍රව්‍යයන් ය. රසායනික ද්‍රව්‍ය එකිනෙක ප්‍රතික්‍රියා කරනු ලැබේ. එබැවින් එක් රෝගයකට දෙනු ලබන ඖෂධයක් තවත් රෝගයකට දෙනු ලබන ඖෂධයක් සමඟ ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව ඇත.
ඇතැම් විටෙක සෙම්ප්‍රතිශ්‍යාවට උණට දෙනු ලබන ඖෂධයක් දියවැඩියාව, අධිරුධිර පීඩනය, වකුගඩු ආබාධ වැනි බෝ නොවන රෝගයක් සඳහා දෙනු ලබන ඖෂධයක් සමඟ ප්‍රතික්‍රියා කළ හැකිය. එහි ප්‍රතිඵලය ඇතැම් විටෙක භයානක විය හැකිය. එබැවින් දීර්ඝ කාලීනව බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් තමා ගන්නා ඖෂධ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කිරීම වැදගත් ය. එසේ ම වෛද්‍යවරයකු හමුවට ගිය විට දුම්පානය කරන්නේ ද, මත්පැන් පානය කරන්නේ ද වෙනත් උත්තේජන වර්ග භාවිතා කරන්නේ ද කියා විමසූ විට සත්‍ය ප්‍රකාශ කිරීම ද ඉතා වැදගත් ය.
වෛද්‍යවරු හමුවට යන රෝගීන් වෙතින් සිදුවන තවත් එක් වරදක් මෙහිදී දැක්විය හැකි ය. ඒ මීට පෙර බෝ නොවන රෝගයකට හෝ වෙනත් රෝගයකට ප්‍රතිකාර ගැනීමට රෝහල් ගතවී සිටියේ නම්, එහිදී නිකුත් කරනු ලබන රෝග නිශ්චය කිරීමේ කාඩ්පත මෙන්ම රසායනාගාර වාර්තාවන් ද ඉදිරිපත් නොකිරීමය. කලින් ලබා ගන්නා ලද එම තොරතුරු පරික්ෂා කිරීමෙන් රෝගියාගේ රෝග ඉතිහාසය පිළිබඳව පැහැදිලි අදහසක් වෛද්‍යවරයාට ලබා ගැනීමේ හැකියාව ඇත.
එහි වාසිය අයත් වන්නේ රෝගියාටමය. එයින් අනවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීමට ද සිදු නොවේ.
අධිරුධිර පීඩනයට දෙනු ලබන ඕඥබච ඡතධජඬඥප නම් ඖෂධ කාණ්ඩය ඇදුම රෝගීන්ට ලබා දුනහොත් එය එම රෝගියාගේ ජීවිතයට හානියක් සිදුවීමට පවා හේතු විය හැකිය. එබැවින් අධිරුධිර පීඩනයට ඖෂධීය ප්‍රතිකාර ලබාගන්නා අයකුª ඇදුම රෝගයට ගොදුරු වුවහොත් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වෛද්‍යවරයකු වෙත ගිය විට අනිවාර්යෙන්ම තමා අධිරුධිර පීඩනයට ප්‍රතිකාර ගන්නා බව පැවසිය යුතුමය. ඒ; අධිරුධිර පීඩනයට ලබාදෙන ඉහත සඳහන් ඖෂධ කාණ්ඩය ඇදුම රෝගය වැඩිවීමට හේතුවන බැවිනි.
එසේම සමහර වේදනා නාශක ඖෂධ ඇදුම රෝගීන්ට, දියවැඩියා රෝගීන්ට මෙන්ම වකුගඩු රෝගීන්ට ද සුදුසු නොවේ. ඒ; එම වේදනානාශක ඖෂධ වකුගඩුවලට බලපෑම් ඇති කරන බැවිනි.
බොහෝ දෙනෙක් අතර පවතින තවත් වැරදි මතයක් වන්නේ ඇතැම් ඖෂධවලට ඇබ්බැහි වීමේ හැකියාව ඇති බවය. විශේෂයෙන්ම ඇදුම රෝගයට දෙනු ලබන ඉන්හේලර් වර්ග මෙන්ම දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝගාබාධවලට දෙනු ලබන ඖෂධ පිළිබඳව බොහෝ දෙනෙක් තුළ අනිසි බියක් ඇත. මෙය ඉතා වැරදි සහගත මතයකි. නිදිපෙති අයත් වන ඖෂධ කාණ්ඩයට අයත් ඖෂධවලට හැර අනෙක් ඖෂධවලට ඇබ්බැහිවීමක් සිදු නොවේ.
දියවැඩියාව රෝගයට දෙනු ලබන “මෙට්ෆෝමින්” නම් ඖෂධය පිළිබඳවද බොහෝ දෙනෙක් තුළ වැරදි මත කීපයක් ඇත. ඉන් එක් මතයක් වන්නේ මෙට්ෆෝමින් ඖෂධයට ඇබ්බැහිවේය යන මතයයි. එම ඖෂධය පිළිබඳ අනෙක් වැරදි සහගත මතය වන්නේ දීර්ඝකාලීනව එම ඖෂධය භාවිතා කිරීම නිසා වකුගඩු ආබාධ ඇතිවන බවය. වෛද්‍යවරයකු විසින් දියවැඩියාව ඇති රෝගියකුට මෙට්ෆෝමින් ඖෂධය නියම කළ විටම රෝගියා බියට පත්වනු දැකගත හැකිය. ඒවා සියල්ල වැරදි මතය. දියවැඩියාවට නියම කරනු ලබන ඖෂධ අතර හොඳම ඖෂධය වන්නේ මෙට්ෆෝමින් ඖෂධයයි. එම අගනා ඖෂධයෙන් දියවැඩියාව පාලනය වීම පමණක් නොව හෘදය ආරක්ෂාවීමද සිදුවේ.
හෘදයාබාධ, ආඝාතය වැනි බෝ නොවන රෝගයක් මතුවූ විට එය නැවත ඇතිවීමේ හැකියාව වැඩිය. රෝගීන් බොහෝවිට මේ පිළිබඳව සිතන්නේ නැත. බොහෝ දෙනෙක් සිතන්නේ රෝගය එක්වරක් මතුවුණා, කලක් ඖෂධ ගත් විට එය පාලනය වුණා දැන් ඖෂධ ගැනීම අවශ්‍ය නැතැයි කියාය. එය මිථ්‍යා මතයකි.
බෝ නොවන රෝගවලට ගොදුරු වූවන්ගේ ආහාර පිළිබඳව වැරදි සහගත මත ගණනාවක්ම ඇත. ලුණු භාවිතය මෙහිදී ඇති ප්‍රධාන ගැටලුවකි. සාමාන්‍ය නිරෝගී පුද්ගලයකුට දිනකට භාවිතයට සුදුසු ලුණු ප්‍රමාණය ග්‍රෑම් 6 ක් පමණ වේ. එය තේ හැන්දකට වඩා සුළු වැඩි ප්‍රමාණයකි. එහෙත් අද බොහෝ දෙනා ඊට වඩා වැඩි ප්‍රමාණයක් ලුණු භාවිතා කරනු දැකගත හැකිය.
නාගරික ප්‍රදේශවල ජනයා අතර ලුණු භාවිතය වැඩි බව පෙනේ. ඒ; සැකසූ ආහාරවල, ක්ෂණික ආහාරවල සහ කල්තබා ගන්නා ආහාරවල අධික ලෙස ලුණු අඩංගු වීමය. අධිරුධිර පීඩනයට ගොදුරු වීමට හේතුවන ප්‍රධානම සාධකයක් වන්නේ අධික ලෙස ලුණු භාවිතා කිරීමය. නාගරික ප්‍රදේශවල අධිරුධිර පීඩනයට ගොදුරු වූවන් ඉතා වැඩි ඒ නිසාය. අධික ලුණු භාවිතය අධිරුධිර පීඩනයට හේතුවක් වනවා සේම අධිරුධිර පීඩනය වර්ධනය වීමටද අධික ලුණු හේතුවක් වේ. එබැවින් ලුණු භාවිතය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම වැදගත්ය.
ආහාර සම්බන්ධව ඇති තවත් එක් වැරදි සහගත මතයක් වන්නේ සීනි වෙනුවට හකුරු හෝ සූකිරි කෑම සුදුසු බවය. හකුරු සූකිරි දෙකෙහිම ඇත්තේ සීනිය. එබැවින් සීනි වෙනුවට හකුරු කෑමෙන් කිසිදු යහපත් ප්‍රතිඵලයක් නොලැබේ. යමෙකුට සීනි රස අවශ්‍යම නම්, සීනි වෙනුවට යොදන ආදේශක ද්‍රව්‍ය දැන් වෙළෙඳ පොළේ ඇත. දියවැඩියාවෙන් පෙළෙන්නන්ට සහ දියවැඩියාවෙන් වැළකී සිටීමට උත්සහ දරන්නන්ට එම ආදේශ ඉතා අගනේය.
උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
ශ්‍යාමිලා ද සිල්වා
ගාමිණී සුසන්ත
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
No comments:
Post a Comment